CMYK වර්ණ ආකෘතිය
From Wikipedia, the free encyclopedia
CMYK වර්ණ ආකෘතිය වර්ණ මුද්‍රණ කර්මාන්තයේ දී භාවිත කරන ව්‍යාකලන වර්ණ ආකෘතියකි. CMYK යනු මෙම වර්ණ ආකෘතිය සඳහා යොදාගන්නා මූලික වර්ණ සතරෙහි ඉංග්‍රීසි නාමයන් වන Cyan (සයන්), Magenta (මැජෙන්ටා), Yellow (කහ), Key (කළු) යන වචන වල මුලකුරු වල එකතුව වේ.
CMYK වර්ණ ආකෘතියෙහි K යනුවෙන් අදහස් වන්නේ ඇතැම් මූලාශ්රයන් වලට අනුව කළු වර්ණය නිරූපණය කිරීම සඳහා ඉංග්‍රීසි "K" අකුර යොදාගෙන ඇත්තේ ඉංග්‍රීසි "B" අකුර නිල් වර්ණය නියෝජනය කිරීම සඳහා දැනටමත් යොදාගෙන ඇති බැවින් කළු වර්ණය නිරූපණය කිරීමට "black" යන ඉංග්‍රීසි වචනයේ අවසන් අකුර වන K මේ සඳහා යොදාගෙන ඇති බවයි කෙසේ වෙතත් එම පැහැදිලි කිරීම මෙය මතක තබා ගැනීම සඳහා උපකාරී වුවද නිවැරදි නොවේ.
මෙම CMYK වර්ණ ආකෘතිය ක්‍රියාත්මක වන්නේ ආලෝකවත් පසුබිම් (බොහෝ විට සුදු පැහැති) මත පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් වර්ණ ආවරණය කිරීම මඟිනි. වර්ණ සංකලන මඟින් ඒ මත පතිත වන ආලෝකය විවිධ ප්‍රමාණයන්ගෙන් අවශෝෂණය කර ආලෝකවත් පසුබිමෙන් පරාවර්තනය වන්නා වූ ආලෝකය අඩු කිරීම තුලින් මෙම සංසිද්ධිය ඇතිවේ. මෙවැනි වර්ණන ආකෘති සුදු ආලෝකයේ දීප්තතාවය ව්‍යාකලනය කරන බැවින් ව්‍යාකලන වර්ණ ආකෘති ලෙස හැඳින්වේ.
RGB වැනි ආකලන වර්ණ ආකෘති වලදී සුදු ආලෝකය එහි මූලික වර්ණවල එනම් රතු, කොළ සහ නිල් ආලෝකයන්ගේ එකතුවෙන් සෑදෙන ආකලන ආලෝකය වන අතර කළු යනු එම මූලික ආලෝකයන් හි නොපැවතීම වේ. CMYK වර්ණ ආකෘතිය එහි ප්‍රතිවිරුද්ධ ආකාරය වේ. මෙහිදී සුදු වර්ණය කඩදාසියක හෝ වෙනත් පසුබිමක ස්වභාවික වර්ණය වන අතර කළු වර්ණය ඇතිවන්නනේ එහි මූලික වර්ණ ත්‍රිත්වය පූර්ණ වශයෙන් මාත්‍රණය කිරීම තුලිනි. එහෙත් කර්මාන්තමය භාවිතයේදී දැරිය යුතු පිරිවැය අවම කිරීම සඳහා සහ තද කළු වර්ණය ලබාගැනීමට මෙන්ම අසංතෘප්ත අඳුරු වර්ණ නිපදවීමට ද සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ තීන්ත මිශ්‍ර කිරීම වෙනුවට කළු වර්ණ තීන්ත වෙන් වශයෙන් යොදාගැනේ.