දාගැබ්
From Wikipedia, the free encyclopedia
දාගැබ හෙවත් ස්ථූප ගොඩනැගුණේ බුදුන් වහන්සේ සිහිකිරීම සඳහාය. බෞද්ධ ස්ථූපයේ ආරම්භය ඈත අතීතයට විහිදී යයි. බෞද්ධයන් ස්ථූපයක් ගොඩනැංවූයේ බුදුන් වහන්සේගේ පූජනීය නෂ්ටාවශේෂ හෝ උන්වහන්සේගේ පවිත්‍ර සලකුණු තැබූ ස්ථාන මුල්කරගෙනය. මෙසේ ගොඩනැංවූ බෞද්ධ ස්ථූපවලට මහත් භක්තියකින් සැලකීමට බෞද්ධයෝ අමතක නොකළහ. මේ තත්වය මැනවින් විද්යමානවූයේ ඉන්දියාවේය. ස්ථූප ගොඩනැගීම ආරම්භවූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීමය. ඒ බව ලංකාවෙන් ලැබෙන තොරතුරුවලින්ද තහවුරු වේ. උන්වහන්සේද චෛත්‍යය අගය කරඇත. " රමණීයං වෝ ආනන්ද චාපාල චේතියං,රමණීයං එරන්දද චේතියං ........." යන බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේ චාපාල,සාරන්දද ආදී චෛත්‍යය ස්ථාන රමණීයත්වයෙන් අගය කළබවය. බුදුන් ජීවමාන කාලයේදී බෞද්ධ ස්ථූප ගොඩනැංවුණු බවට ලංකාවෙන් ලැබෙන සාධක නම්,තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේට විළඳ හා මීපැණි පිළිගැන්වීමෙන් පසුව ලැබුණු කේශධාතු තැන්පත්කර ගිරිහඬුසෑය ඉදිකළබව සඳහන්වීමය. මෙය බුරුම මූලාශ්‍රවලද සඳහන් වේ. එනම් බුරුම ජාතිකයන් විශ්වාස කරන්නේ ඔවුන්ට ලැබුණු කේශධාතු තැන්පත්කර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය ගොඩනැංවූ බවය. ඒ මගින් පැහැදිලි වන්නේ බුදුන් ජීවමාන කාලයේ බුරුමයේද බෞද්ධ ස්ථූප ගොඩනැංවීම ආරම්භ වූ බවය.මීට අමතරව බුදුන්ගේ ලංකාගමනයේදී මහියංගණයට වැඩමකළ අවස්ථාව සිහිගැන්වීමට සුමන සමන් දෙවියන් විසින් මහියංගණ චෛත්‍යය ඉදිකිරීමද,කැළණියට වැඩමකළ අවස්ථාවේ හිඳගත් මැණික් පුටුව තැන්පත් කිරීමෙන් මණිඅක්ඛිත රජු විසින් ඉදිකරවන ලද කැළණි චෛත්‍යයද බුදුන් වහන්සේ ජීවමාන කාලය හා සම්බන්ධවන චෛත්‍යය වේ.
එමෙන්ම ආනන්ද හිමියන් බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු දේහය පිළිබඳව කෙසේ කටයුතු කළ යුතුද යන්න ඇසූවිට උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමෙන් පසුව හතරමං හංදියක ස්ථූපයක් තනා පුදපූජාදිය පැවැත්විය යුතු බවයි.එයින් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ ජීවමානව නොමැතිවිට ශාසනයේ පැවැත්ම සඳහා තමන් උදෙසා චෛත්‍යයට පුදසත්කාර කිරීම යෝග්‍ය බවයි.උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් එසේ කළ අතර එම චෛත්‍යය වන්දනය අද දක්වාත් ක්‍රියාත්මක වේ.
ඉන්දියාවේ බෞද්ධ චෛත්‍යය වඩාත් ප්‍රචලිත තත්වයට පත්වූයේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේදීය. රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර තැනවූ බව ජනප්‍රවාදයෙහි මෙන්ම වංශකථාවලද සඳහන් වේ. ඒ අනුව ලෝකයේ වැඩිම වෙහෙර විහාර සංඛ්‍යාවක් ගොඩකැංවූ පලකයා ලෙස සැලකෙන්නේ අශෝක අධිරාජ්‍යයාය.