සත්ව අයිතිවාසිකම්
From Wikipedia, the free encyclopedia
සතුන්ගේ පැවැත්ම, සතුන්ට පමණක්ම තීරණ ගත හැකි, සතුන්ම සන්තක දෙයක් බවට ප්‍රකාශ කරන, ඔවුන්ගේ, දුක් වේදනා වළක්වා ගැනීමේ අවශ්‍යතාව වැනි මූලික අවශ්‍යතාවන්ට, මිනිසුන්ගේ එවැනි අවශ්‍යතාවන්ට සමානවම සැළකීම පිළිබඳව ප්‍රකාශ කරනු ලබන මතය "සත්ව අයිතිවාසිකම්" යන්නෙන් පැහැදිලි කරයි.[1] එනම් ඇතැම් සත්ව විශේෂයන්ට, ඔවුන්ගේ අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරුකරමින් සැළකීමත්, හැගීම් දැනීම් නොමැති වස්තූන් ලෙස සැළකීමෙන් වැළකී සිටීමත් ය.
සත්ව විශේෂයාගේ සාමාජිකත්වය පමණක් පදනම් කොටගෙන සතුන්ට මූලික ආරක්ෂාවන් හා සදාචාරාත්මක වටිනාකම් පැවරීමට මෙම මතය දරන්නන් විරුද්ධ වෙති. රිචඩ් ඩී. රයිඩර් (Richard D. Ryder) විසින් හඳුන්වාදුන්, විශේෂවාදය (speciesman) නමින් හැඳින්වෙන මෙම මතය අගතියෙන් යුත් අතාර්කික මතයක් යන්න මොවුන්ගේ විශ්වාසයයි.[2] සතුන් තවදුරටත් දේපළ ලෙස හෝ ආහාර, ඇඳුම් පැළඳුම්, පර්යේෂණ විෂයයන්, විනෝදාස්වාදය හෝ භයානක මෘගයන් ලෙස හෝ භාවිතා නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි.[3] ජෛන ආගම, තාඕවාදය, හින්දු ආගම, බුද්ධාගම, ෂින්ටොවාදය සහ animism වැනි ලොව පුරා ආගම් සහ දරශනයන් විවිධාකාරයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි.
සදාචාරාත්මක අයිතිවාසිකම් පිළිබඳ විවාදයට සමගාමීව, උතුරු ඇමෙරිකාවේ නීති විද්‍යාලවල, සත්ව නීතිය පුළුල්ව උගන්වනු ලබන අතර, ස්ටීවන් එම්. වයිස් සහ ගැරී එල්. ෆ්‍රැන්චෝනී වැනි ප්රමුඛ නීති විශාරදයින්, මානව නොවන සතුන් සදහා වන මූලික නෛතික අයිතිවාසිකම් සහ එයට හිතකර ලෙස පෞරුෂත්වය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටියි. පෞරුෂත්වය පිළිබඳව වන තර්කවලදී බොහෝවිට සළකා බලන්නෙ හොමිනයිඩ් ප්‍රභේදයට අයත් සතුන්ය. විශේෂවාදයේ බාධකයෙන් මෙය බීඳි යනු ඇති බැවින් ඇතැම් සත්ව අයිතිවාසිකම් පිළිබඳ විද්වතුන් මෙයට සහය පළ කළත්, අනෙක් අය මෙයට විරුද්ධ වන්නේ සදාචාරාත්මක වටිනාකම, හැඟීම් මත පමණක් නොව, මානසික සංකිර්ණතාව මතද පුරෝකථනය කරන බැවිනි.[4] 2019 නොවැම්බර් වන විට රටවල් 29ක් විසින් හොමිනොයිඩ් අත්හදා බැලීම් තහනම් කර ඇති අතර, 2014 පටන් ක්‍රියාත්මකවන පරිදි ආජන්ටිනාව විසින් මිනිසුන් භාරයේ සිටින ඔරන්උටන් සතුන්ට මූලික මානව හිමිකම් ලබාදී ඇත.
සත්ව අයිතිවාසිකම් පිළිබඳ විවේචකයන් තර්ක කරන්නේ මානුෂික නොවන සතුන්ට සමාජ ගිවිසුමක් ඇතිකරගත නොහැකි බවත්, එම නිසා අයිතිවාසිකම්වල හිමිකරුවන් විය නොහැකි බවත් ය. මිනිසුන්ට පමණක් රාජකාරි ඇති බවත්, එම නිසා මිනිසුන්ට පමණක් අයිතිවාසිකම් ඇතිබවත්, ඉහත කරුණ සාරාංශගත කරන රොජර් ස්කෲටන් තර්ක කරයි. උපයෝගිතාවාදය හා බැඳී ඇති තවත් තර්කයක් වන්නේ, අනවශ්‍ය දුක් වේදනා නොමැති තාක්කල් සතුන් සම්පත් ලෙස භාවිතා කළ හැකි බවයි; ඔවුන්ට යම් සදාචාරාත්මක ස්ථාවරයක් තිබිය හැකි නමුත්, ඔවුන් මිනිසුන්ට වඩා පහත් මට්ටමක සිටින බවයි; "අවශ්‍ය" දුක් වේදනා හෝ නිත්‍යානුකූල පරිත්‍යාගයන් සැළකිය යුතු ලෙස වෙනස් වුවද, සතුන්ගේ ඕනෑම අභිලාෂයක් අභිබවා යා හැකි බවයි.[5] සත්ව විමුක්ති පෙරමුණ විසින් ලොම් ගොවිපළවල් සහ සත්ව රසායනාගාර විනාශ කිරීම වැනි ඇතැම් ක්රියාවන්නම් සත්ව අයිතිවාසිකම් පෙරමුණ තුළම විවේචනයට ලක්වී ඇති අතර Animal Enterprise Terrorism Act (AETA) ඇතුළුව, මෙම ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නඩු පැවරීමට ඉඩ සළසන නීති පැනවීමට අදාළව එක්සත් ජනපද කොන්ග්‍රසයේ ප්‍රතිචාරය ද විමසා ඇත.[6]