තුත්මෝස් III
From Wikipedia, the free encyclopedia
තුත්මෝස් III (ඇතැම්විට තුත්මොසිස් හෝ ටුත්මොසිස් III, තොත්මෙස් යනුවෙන් පැරණි ඉතිහාස වාර්තාවල දැක්වේ. මෙහි අරුත "තොත් නිසා උපන්") යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ හයවන පාරාවෝවරයායි. ඔහුගේ රාජ්‍ය සමයේ පළමු වර්ෂ විසි දෙක ඔහුගේ නැන්දණිය මෙන්ම සුළු මව ද වූ හට්ෂෙප්සුට් පාරාවෝවරිය සමග ගෙනගිය හවුල් පාලන සමයකි. මුල්කාලයේ ඔහුව දක්වා ඇති නිරූපණයන්හි මේ දෙදෙනාටම සාමාන්‍ය රාජකීය නාමයන් සහ ආභරණ දක්වා ඇති අතර, එක් අයකුට වඩා අනෙකෙක් ජ්‍යෙෂ්ඨ නොවන අයුරින් දක්වා ඇත.[3] ඔහු ඇගේ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.
තුත්මෝස් III | |
---|---|
තුත්මොසිස් III, අමර්ණ ලිපිවල දැක්වෙන "මනාහ්පි(ර්)යා" | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1479 - 1425 (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | හට්ෂෙප්සුට් (නැන්දණිය සහ සුළු මව) |
අනුප්‍රාප්තිකයා | අමෙන්හොටෙප් II (පුත්‍රයා) |
වල්ලභ | සාටියා,[2] හට්ෂෙප්සුට්-මෙරිට්‍රේ, නෙබ්ටු, මෙන්වි, මෙර්ටි, මෙන්හෙට්, නෙබ්සෙමි |
දරුවන් | අමෙනෙම්හාට්, අමෙන්හොටෙප් II, බෙකෙටාමුන්, ඉසෙට්, මෙන්ඛෙපෙරේ, මෙරියේටාමුන්, මෙරියේටාමුන්, නෙබෙටියුනෙට්, නෙෆර්ටිරි, සියාමුන්[2] |
පියා | තුත්මෝස් II |
මව | ඉසෙට් |
උපත | ක්‍රි.පූ. 1481 |
මරණය | ක්‍රි.පූ. 1425 |
භූමදානය | KV34 |
ස්මාරක | ක්ලියෝපැට්රාගේ හිඳ |
හට්ෂෙප්සුට්ගේ මරණින් පසු, පාරාවෝවරයා ලෙස නැගී ආ IIIවන තුත්මොසිස්ගේ පසුකාලීන රාජ්‍ය සමයේ, ඔහු ඊජිප්තුව පෙර නොවූ විරූ තරමේ දැවැන්ත අධිරාජ්‍යයක් ලෙස ව්‍යාප්ත කළේ ය. ඔහු ආක්‍රමණ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් මෙහෙයවා ඇති අතර, උතුරු සිරියාවේ නියා සිට නූබියාවේ නයිල්හි සිව්වන ඇල්ල දක්වා ආක්‍රමණ සිදුකළේ ය.
නිල වශයෙන් IIIවන තුත්මෝස් වර්ෂ හතළිස්හතරක් රාජ්‍ය පාලනය කර තිබේ. සාමානයෙන් ඔහුගේ රාජ්‍ය සමය ක්‍රි.පූ. 1479 අප්‍රේල් 24 සිට ක්‍රි.පූ. 1425 මාර්තු 11 තෙක් පැවතියේ යැයි පිළිගැනේ. නමුත් මෙම කාලයට හට්ෂෙප්සුට් සමග ගෙනගිය හවුල් පාලන සමය ද අන්තර්ගත ය. ඔහුගේ අවසන් රාජ්‍ය වර්ධ ද්විත්වයේ ඔහු සිය පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ IIවන අමෙන්හොටෙප් සිය කනිෂ්ඨ සම-රාජ්‍යාධිකාරිවරයා ලෙස පත්කළේ ය. ඔහුගේ පළමු පුත් කිරුළ හිමි අමනෙම්හාට් IIIවන තුත්මෝස්ට පෙර මියගියේ ය. IIIවන තුත්මෝස්ගේ මරණින් පසු ඔහුගේ දේහය රජුන්ගේ නිම්නයේ භූමදානය කෙරිණි.